හිරු පුවත් එසැණින්

Friday, January 25, 2013

අඹන්වල රාළ



අඹන්වල රාළ
අඹන්වල රාළ වු කලි දෙවැනි රාජසිංහ රජුගේ කාලයේ සිටි උඩරට ජන ප්‍රධානියෙකි. මොහු කවියෙකු හැටියට ද ප්‍රසිද්ධව සිටි බව කියනු ලැබේ. 1664 නිල්ලඹ නුවර දි රජුට විරුද්ධව හට ගත් කැරැල්ලේ නායකයාද මොහු වේ.
            රාජසිංහ රජුගේ දරුණු ක්‍රියා මාර්ග නිසා තදින්ම කිපුණු වැසියෝ ඔහු මරා දැමීමට නොයෙක් විට තැත් කරන ලදි. ඇසළ පෙරහැර තහනම් කිරීම රජුකෙරහි වැසියන් කලකිරැවීමට ප්‍රධාන ලෙසින්ම බලපාන ලදි. 1664 දී  උදා වු වල්ගාතරුවක් දැක කලබල වු වැසියන් එතුමා මරා දම එතුමාගේ පුතා වු දෙවැනි විමලධර්මසුරිය රජුට රජකම ලබා දීමට තීරණය ගත් බව නොක්ස් සදහන් කරයි. අඹන්වල රාළ ප්‍රධාන තවත් නායකයින් කිහිප දෙනෙක් ද නුවර ආරාමයක තෙර නමක් ද මේ කුමන්ත්‍රණයේ පුරෝගමි වු බව කියනු ලැබේ. මේ සියලු දෙනා ලේ නෑයන් වු බව සදහන් වේ. එසේම මෙය රට පුරා පැතිර ගිය පෙරලියක් නොව ප්‍රධානින් කිහිප දෙනෙකු විසින් රාජ සභාව ඇතුළතම ඇති කරන ලද කැරැල්ලක් පමණි. කැරැල්ල ඇරඹු නායකයන්ගේ ප්‍රධාන අදහස වුයේ කුමරුව රෑකඩ රජකු සේ තබා ගෙන රාජ බලය අත්පත් කර ගැනීමයි.
            සොභාවයෙන්ම රෞද්‍ර ගති ගුණ ඇති රාජසිංහ රජතුමා මේ කාලයේ ඔලන්ද කාරයන්ගේ චංචානිසාත් ඔවුන්ගෙන් පලි ගැනීමට නොහැකි වු නිසාත් බලවත් සේ කෝපයට පත්ව සිටියේ ය. ඔහුගේ කායික ශක්තිය මෙන්ම මානසික ශක්තිය ද බෙහෙවින් හීන වු හෙයින් හෙතම විවේකි ආරක්ෂිත ස්ථානය වු නිල්ලඹ නගරයට වාසය පිණිස ගියේ ය.
            දිනක මධ්‍යම රාත්‍රියේ අඹන්වල රාළ සහ තවත් දිසාපතීන් කිහිප දෙනෙක් ඇතුළත් දාමරිකයන් සමුහයක් නිලඹේ මාළිගාවට වැද මුර සෙබළුන්ද රජු ද මැරීමට තැත් කළහ. එහෙත් සතුරු පිරිසට පාන්දර වන විටත් රජුට ලගා වීමට නොහැකි වු විය. රජු පිරිවර සමගින් හගුරන්කෙත අසල වු ගලඋඩ නම් වු ගමට පලා යන ලදි. රජු මැරීමේ අදහස ව්‍යාර්ථ වු කැරැලිකරුවෝ  මහනුවර මාළිගයේ සිටි කුඩා කුමරුවන් සිංහාසුනාරෑඪ කිරීම පිණිස පිටත් විය. පහළොස්විය නොඉක්මවා සිටි කුමරා මේ පුවත අසා භීතියට පත් විය. රජුගේ සොහොයුරිය කුමරු සමගින් ගලඋඩ ගමට ගිය හෙයින් කලහාකරුවන්ට තම අදහස මුදුන් පත් කර ගැනීමට නොහැකි විය. ඉක්බිතිව ඔවුන් රජු විසින් සිර කොට සිටි යුරෝපීයයන් තමන් වෙත නම්මවා ගැනීමට උත්සහා ගත්තට එය ද ව්‍යාර්ථ විය. මේ නිසා අධෛර්යට පත් කැරැලිකරුවන් ඔවුනොවුන්ම ඇනකොට ගැනීමට පටන් ගත් හ. රජතුමාද කැරලිකරුවන් හැකි තරම් මරා අඹනවල රාළ අල්ලා වධ හිංසා පමුණවා මරනු වස් ලන්දේසින් වෙත යැවී ය.
            සිදු වුයේ අනෙකකි. ලන්දේසීන් ඔහුව කරුණාවෙන් පිළිගෙන සැලකිලි දැන්විය. රටතොට පිළිබද තොරතුරු දැන ගැනීමට අඹන්වල රාළ ඔවුන්ට ප්‍රයෝජනවත් විය. කවියෙකු වශයෙන් අඹන්වල රාළ රචනා ලකරන ලද ව්‍යක්ත ප්‍රබන්ධ රාශියක් වේ. ලන්දේසින් යටතේ සිටි සුරිය මුත්තයියා නම් නිලධාරියෙකු තමන් ආශිර්වාද වශයෙන් බදනා ලද කවි පන්තියක් අසා රන් පගෝදි පන්සීයයක් තෑගි කරන ලද බව කියති. මොහුගේ කවි අතර සිරිගර රසයෙන් යුත් කවි ද තේරවිලි කවි ද විය. අඹන්වල රාළ නොයෙකුත් අවස්ථාවන්හිදි කියන ලද කිවි රැසක් තවමත් නොනැසි පවති.
ස්ත්‍රියක් වරලස පීරනු දැක කී කවියක් මෙසේය.
පළ කළ පතළ කළ කත මගට යන ක                
පළ දළ පතළ එන තන රත මඩල බ                   
තල මල සගළ වත වදනත උර පළ                    
බල දළ ලකළ වමතට ගවසන වර                     
තේරවිලි කවියක් මෙසේ ය.
පිළිකන්නේ ගොරවන්නේ ගෙට එන්න            
ගෙයි ඉන්නෝ රැක ඉන්නේ බැට දෙන්න         
මළ මිනිහා දිය ලන්නේ පණ ගන්න                  
නොදොඩන්නේ බොරු බැරි නම් තෝරන්න     

ඔලන්දකාරයන් විසින් දෙන ලද කොල්ලුපිටියේ ඉඩමක පදිංචි වී පොල් වැවීමට පටන් ගත් අඹන්වල රාළ සිය අවසන් කාලය ගත කළේ වැවිලිකරුවකු හැටියට ය. මෙතෙම කොල්ලුපිටියේදීම අවසන් හුස්ම හෙලන ලදි.


අතපත්තු හමුදාව.



අතපත්තු සේවය මෙරට ආරම්භ වුයේ කවර දාක ද යන්න නිශ්චිතව කිව නොහැකි වේ. ක්වේරෝස්, රෝබෙයිරෝ හා කූටෝ ආදි ප්‍රතිකාල් ඉතිහාසඥයින් කෝට්ටේ යුගය සම්බන්ධයෙන් අතපත්තුව හා අතපත්තු නිලධාරින් ගැන තම කෘතියේ සදහන් කරත් කෝට්ටේ යුගයට පෙර ලියන ලද ග්‍රන්ථයක  අතපත්තුව ගැන හෝ අතපත්තු නිලධාරින් ගැන සදහනක් වී ඇති බවක් නොපෙනේ. සීතාවක සමයට අයත් මායදුන්නේ රජුගේ අතපත්තු හමුදාවක් ගැන හා සීතාවක රාජසිංහ රජුගේ හමුදාවක් ගැනත් ක්වේරෝස්ගේ ලංකාවිජය නැමති ග්‍රන්ථයේ සදහන් වේ. කෝට්ටේ යුගය හරියදි ආරම්භවී යැයි සැළකිය හැකි අතපත්තු සේවය මහනුවර යුගය අවසානය දක්වාම පැවති බව මහනුවර රාජ්‍යයේ ආණ්ඩුක්‍රමය පිළිබදව ලියවුණු ඩොයිලිගේ විස්තරයෙන් පෙනේ. අතපත්තුව පිළිබද සේවා සංවිධානය හැදින්වුණේ අතපත්තු වසම නමින් ය. ඊට අයත් වුවෝ ඒ ඒ දිසාවේ හෝ  රටේ වැදගත් අයයි. සෑම කෝරළයකම අතපත්තු වසමක් වු බව ඩොයිලි සදහන් කරයි. කෝරළේ අතපත්තුවක ප්‍රධානියා හැදින්වුයේ අතපත්තු ලේකම් නමින් ය. අතපත්තු ලේකම් යන්න බෙහෙවින් ම ව්‍යවහාර වුයේ උඩරට පෙදෙස්වල බවත් ඒ නිලධාරියා පහතරට පෙදෙස්වලදි අතපත්තු මුදලි යනුවෙන්ද හැදින්වු බවත් ඇතමුන්ගේ පිළීගැනීමයි.අතපත්තු මුදලි යනු මුදියන්සේ වෙනුවට ඇතැම් පළාත්වල පැවති ව්‍යවහාරයක් බව පෙනේ.
            රජ වාසල මුර කළ කණ්ඩායම සේවයේ යෙදි සිටි  ස්ථානය අතපත්තු මඩුව හෙවත් අතපත්තු මුර පොළ යන නම ව්‍යවහාර විය. අතපත්තු මුර පොළ භාරව සිටියේ නිලමේ කෙනෙකි. ඔහු හැදින්වුණේ අතපත්තු නිලමේ නැතහොත් මුහන්දිරම් යන නමින් ය. ඔහු යටතේ අතපත්තු කංකානම්වරුන් දෙදෙනකු ද, අතපත්තු අපුපුහාමිලා යනුවෙන් හැදින්වුණ සාමාන්‍ය භටයන් කිහිප දෙනෙක් ද වුහ. මහනුවර යුගයේ මුල් හරියේදි පමණ රජවාසල භාරව සිටි අතපත්තු හමුදාවෙහි අප්පුහාමිලා පණහක් හෝ හැටක් සිටි නමුත් ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ කාලයේදි එහි සිටියේ 48 දෙනෙකු පමණක් බව ඩොයිලි පවසයි. රජ මාළිගය මුර කිරීම මොවුන්ට පැවරි තිබු ප්‍රධාන කාරිය වු නමුත් පෑ දැමීම හෙවත් පෑතැටිය දිය කොරොස්වල දමා වේලාව නිශ්චිත කිරීම හා මිණි ගෙඩිය ගැසීමෙන් ජාම වේලාව හැගවීම ද රජවාසලහි වාහල්කඩ පෑතැටි සතර අසල මුර කළ අතපත්තු අප්පුහාමිලාට නියම කර තිබුණි. රජු රටේ සංචාරය සදහා යන විට ඔහුගේ ආරක්ෂාව සදහා මොවුන්ගෙන් කොටසක් රජු සමග ගිය බව පෙනේ. කෝට්ටේ සීතාවක හා මහනුවර රජවරුන් ප්‍රතිකාලුන්ට විරුද්ධව සටන් කරන අවස්ථා කිහිපයක් ගැන ක්වේරෝස්ගේ ලක්විජය යෙහි හා රෙබෙයිරෝගේ ලංකා ඉතිහාසය යෙහිද සදහන් වේ. 1578 දි පමණ ප්‍රතිකාල්වරුන් විසින් මුන්නේස්වරන් කොවිල විනාශ කරනු ලැබු අවස්ථාවේදි එය රැක ගැනීම පිණීස ප්‍රතිකාලුන්ට විරුද්ධව රජු වෙනුවෙන් සටන් කළේ අතපත්තු හමුදාවක් සමග පැමිණි අතපත්තු මදලි කෙනෙක් බව ක්වේරෝස් සදහන් කරයි. මහනුවර රාජ්‍යයේ සෙනරත් රජු 1629 දි පමණ  යාපනයේ ප්‍රතිකාලුන්ට පහර දීම සදහා අතපත්තු මුදලි කෙනෙකු යටතේ සේනාව යැවිමට තැත් කළ ද එය කල් තියා පෘතුගීසින්ට ආරංචි වු නිසා එය කඩාකප්පල් කර දැමු බව රොබෙයිරෝ සදහන් කරයි. එබැවින් අතපත්තු හමුදාව රජුගේ වාසල ආරක්ෂක භට පිරිසක් ලෙසට පමණක් නොව රජුගේ සෙබළ පිරිසක් වශයෙන් සෙවය කළ බව සිතිය හැකි වේ.

Tuesday, January 1, 2013

උඩරට රජුගේ කොඩිතුවක්කු හමුදාව


කොඩිතුවක්කු හමුදාව
        පරංගි සහ ලන්දේසි යුගයන්හිදි රෝද පිට සවි කළ කුඩා කාලතුවක්කු කොඩිතුවක්කු ලෙස හැදින්විය. අන් හැම තුවක්කු විශේෂයකට වඩා මේවා ප්‍රයෝජනවත් විය. මහත් රෞද්‍ර හඩක් පිට කරමින් වෙඩි තැබීමට උපකාර වු හෙයින් විශේෂණයක් වශයෙන් රෞද්‍ර යන අර්ථය ඇති කොඩි යන දෙමළ වචනය මුලට යොදා එම තුවක්කු විශේෂය හැදින් වූහ.  ගන්ජල නමින් හැදින්වුණ තුන්පා ධාරකයක් හෙවත් මුක්කාලියක් මත තබා වෙඩි තබන ලදි. යුද්ධයේදි බොහෝ කොට උපයෝගි වුයේ කොඩිතුවක්කු වු හෙයින් රජුගේ තුවක්කු හමුදාව කොඩිතුවක්කු හමුදාව ලෙසින් ප්‍රසිද්ධියට පත් විය.
කොඩිතුවක්කු හමුදාව නුවර යුගයේදි යුධ කටයුතුවලදි ප්‍රධාන තැනක් ගත් හෙයින් එය යුධ හමුදාවට අයත් වැදගත් කාර්යංශයක් විය. කොඩිතුවක්කුකාරයෝ නිතර යුධ සේවාවට සුදානමින් සිටිය හ.
        මහනුවර අවධියේදි කොඩිතුවක්කු හමුදාවට යුධ කිරීමේ කාර්යයට අමතරව වෙනත් කාර්යයන්ද අයත් වු බව පැරණි ලියකියවිලි වලින් පෙනේ.      හමුදා කටයුතු මෙන්ම ආරක්ෂක බල ඇණි කටයුතු ද ඔවුන් වෙත පැවරි තිබුණි. ඔවුහු මුර අනුව දිසාවගේ සහ අදිකාරමගේ වලව් හා රජතුමාගේ මාළිගයේද කොඩිතුවක්කු මඩුවේ ද මුර සේවය කළ හ.  සමහර අවස්ථාවන්හි දි  අපරාධකරුවන් හා අසංවර පුද්ලගයන් අල්ලා ගැනීම සදහා කටයුතු කරන ලද්දේ ද කොඩිතුවක්කු හමුදාව විසිනි.
දිසාවේවරුන්ගේ ප්‍රයෝජනය සදහා වෙන් කළ ගම් අතර කොඩිතුවක්කුකාරයන්ට වෙන් කළ ගම් ද වු බව සතර කෝරළයේ දිසාවට අයත් ලේකම් මිටිවල දක්වා ඇත. මේවා රාජකාරි ගම් වශයෙන් දක්වා ඇත. කොඩිතුවක්කු හමුදාවේ උසස් නිලධාරින් නිල ගමන් යන විට ඔවුන්ට අඩුක්කු සැපයීමටත් ගම්වසම්කාරයෝ බැදි සිටියහ.
        කොඩිතුවක්කු නිලමේ හෙවත් ලේකම් රජුගේ කාලතුවක්කු හමුදාවේ ප්‍රධානියා විය. එකල රාජ්‍ය නිලධාරින් අතර ඔහුට උසස් තැනක් හිමි විය. මොහු දළදා පෙරහැරේ දෙවනි තැන ගෙන තම පිරිවර හා ගමන් ගත් බව සදහන් වේ. පෙරහැරේ ඔහු ලගට ගමන් ගත්තෝ ඒ ඒ දිසාවන් භාර වු දිසාවේවරුන්ය. ඔවුහු තම තමන්ගේ දිසාවට අයත් වු කොඩිතුවක්කු හමුදාවන්ගේ පාලනය භාරව කටයුතු කරන ලදි.
        කොඩිතුවක්කු තැම්පත් කළ මඩුව හා වෙඩි බෙහෙත් ගබඩාව ඒ ඒ දිසාවේවරුන්ගේ වලව්වලට යාබදව තනන ලදි. කොඩිතුවක්කු මොහොට්ටාල හෙවත් මුහන්දිරම් ඒ ඒ කෝරළයේ කොඩිතුවක්කු  හමුදාව භාර නිලධාරියා විය. කොඩිතුවක්කු ලේකම් ආදි උසස් නිලධාරින්ට ශාරිරික දඩුවම් පැමිණිවීම තහනම් විය. 1918 නොවැ 21 දා පනවන ලද රාජඥාව අනුව ඉංග්‍රීසි පාලනය විසින් කොඩිතුවක්කු ලබා ගැනීමේ අවසරය දිසාවේවරුන්ට පමණක් සීමා කරන ලදි.


         

Thursday, December 27, 2012

ආර්යයන් යනු කවරහු ද ?



ආර්යයන් යනු කවරහු ද ?
            ලෝකයේ පැවති ඉපැරණි මානව ශිෂ්ටාචාරයන් අතුරින් ඉන්දීය අර්ධ මහද්විපයේ පැවති ඉන්දු නිම්න ආශ්‍රිතව පැවති හරප්පා සභ්‍යත්වයට හිමි වන්නේ අද්වීතීය ස්ථානයකි. දියුණු නාගරික ශිෂ්ටාචාරයක් වශයෙන් සියවස් ගණනක් ඉන්දු නදි නිම්නය අභිබවා ඉන්දීය උප මහද්වීපයේ අභ්‍යන්තරයේ ව්‍යාප්ත වු මෙම ශිෂ්ටාචාරයේ බිද වැටීමට තුඩු දුන් හේතු පිළිබදව දක්වන උගතුන්ගේ මතය වන්නේ ආර්ය සංක්‍රමණ හෝ ආක්‍රමණ සෘජුව හෝ වක්‍රව මෙ සදහා බලපාන්නට ඇති බවයි. මෙම ලිපියේ අරමුණ වන්නේ එම ශිෂ්ටාචාරය බිදවැටීමේ හේතු විමසීමට නොව එහිදි කියවෙන ආර්යයන් යනුවෙන් හැදින්වෙන්නේ කවර ආකාරයක පිරිසක්ද යන්න දැක්වීමයි. ක්‍රි:පු 1500 දි පමණ සිදුවුවා යැයි සැළකෙන මෙම ජන සංක්‍රමණ හෝ ආක්‍රමණ ඉන්දියාවට උතුරින් වු කපොලු මාර්ග තරණය කරමින් සිදු වු අතර මෙම ජන පිරිස ආර්යන් යනුවෙන් පෙන්වා දීමට උගතුන් විසින් උත්සහා දරන්නේ ය. මෙසේ ආර්ය ලෙසට හැදින්වෙන පිරිස කවර අන්දමේ පිරිසක් ද යනුවෙන් උගතුන් අතර එකගතාවයක් නොමැති අතර ඔවුන් ඒ සදහා විවිධ මතයන් ප්‍රකාශ කරනු ලබන්නේ ය.
            විශේෂයෙන් දහ නවවන සියවසේ සිටි ප්‍රාචීනවේදීන් යනුවෙන් හැදින්වේ ඉන්දීය සංස්කෘතිය සහ භාෂාවන් පිළිබද උනන්දු වු පිරිස ඉන්දීය සහ පර්සියන් භාෂාවන් අතරත් පැරණි යුරෝපීය භාෂාවන් අතරත් වාග් විද්‍යාත්මක සමස්වරූපිබවක් හදුනා ගෙන මූල භාෂාවක් කතා කළ ආර්ය ජාතියක් පිළිබදව කතිකාවතක් ගොඩ නැගීමට උත්සහ දරන ලදි. එවනි පසුබිමක් තුල ආර්ය යනුවෙන් හැදින්වෙන්නේ කවර පිරිසක් ද යන්නට විවිධ නිර්වචන රාශියක් ඉදිරිපත්ව තිබෙනු දැක ගත හැකි වේ.
            ආර්ය යන පදය ඉංග්‍රිසි භාෂාවෙන් ARYAN යනුවෙන් භාවිතා වේ නමුත් මෙම පදය යුරෝපීය බසකට අයත් පදයක් නොව ඉන්දීය භාෂාත්මක පදයක් ලෙසට සැළකිය හැති වේ.එසේම ඉපැරණි පර්සියානුවන් විසින් භාවිත කරනු ලබන ඉරාන් (අයිරාන් IRAN) යන වචනයේ අර්ථයද ආර්ය යන්න උගතුන්ගේ අදහසයි. ඉන්දියානුවන් සහ ඉරාන ජාතිකයන්ගේ මානව වංශය (Ethnicity)ආර්ය යනුවෙන් හැදින්වෙන පිරිසගෙන් පැවත එන බව යි. දහනව වන සියවසේ දී ඉන්දු යුරෝපීය මූල භාෂාවක් සොයා ගැනීමත් සමග ආර්ය ජාතියක් පිළිබද වු ආර්ය සංකල්පය (Aryan Concept) සමාජ කතිකාවතට බදුන් වන්නට විය. විශේෂයෙන්ම උතුරු ඉන්දීය සංස්කෘත භාෂාවත් පර්සියානු අවෙස්තාන් භාෂාවත් සමග ලතින්, ග්‍රීක, ජර්මන් සහ කෙල්ටික් ඇතුලත් යුරෝපයේ ප්‍රධාන භාෂාවන් සමග ඥාති සම්බන්ධයක් සොයා ගැනීමත් සමගින් මෙම කතිතාවත පිළිබද උනන්දුව සමාජය තුල ඇති විය.
            මෙම අදහස් අනුව යමින් බොහෝ උගතුන් විවිධ අදහස් පල කරන්නට විය. දහනව වන සියවස අවසානය දක්වාම ආර්ය යන නම ව්‍යවහාර වුයේ ඉන්දියානු තදාසන්න පෙදෙස්හි සහ ඉරාන ජනයා හැදින්වීම සදහා ය. එසේම එම පෙදෙස්හි ජනයා වහරන ලද භාෂාව හදුනවනු ලද්දෙ ද ආර්ය භාෂාවන් යනුවෙන් ය.
        පෙන්තා නම් වු පඩිවරයාට අනුව ආර්ය භාෂාව කතා කළ මිනිසුන් ආර්ය වර්ගයට අයත් ජනයා හෙවත් ආර්යන් ලෙස හැදින්විය. මෙසේ වාග් විද්‍යාත්මක අදහස් මගින් ඇති වු අදහස් අනුව යමින් ආර්ය ජාතියක් පිළිබදව සංකල්පයක් ඇති විය. ආර්ය ජාතියක් පිළිබදව අදහස් දක්වන ගෝඩ්න් චයිල්ඩ් මහතා ප්‍රකාශ කරනුයේ ඉන්දු - යුරෝපිය භාෂා ගණයටඅයත් භාෂාවන්ගේ ප්‍රභවය පොදු මාතෘ භාෂාවකින් පැවත එන අතර එම මාතෘ භාෂාව ව්‍යවහාර කළ පිරිස ආර්යන් වු බවයි.
            මෙ අතර ව්‍යවහාර අර්ථය අනුව ඉන්දීය සමාජය තුල මෙම ආර්ය යන පදය සැබවින්ම භාවිත වූයේ ජාතියක් හැගවීමේ අදහසින්ම ද යන්න ද විමසා බැලිය යුතු වේ. සංස්කෘත භාෂාවේ සහ අවෙස්තාන් භාෂාවේ (ඉරාණීය පැරණි භාෂාව) ආර්ය යන පදයේ අර්ථය වන්නේ උතුම් මිනිසා/උසස් මිනිසා(Noble Person) යන්න යි.එසේම උතුරු ඉන්දීය ඉපැරණි වේද ග්‍රන්ථයන්හි කිසි විටකත් ජාතියක් (Racial) හෝ වාර්ගිකත්වයක් (Ethnic) හැගවීමේ අභිප්‍රායෙන් මෙම පදය භාවිත කළ බවට සාධක නොමැත. හින්දු ආගමේත්, සොරොස්තියානු ආගමේත් (Zoroastrians), බෞද්ධාගමේ සහ ජෛනාගමේ ආර්ය යන පදය භාවිත කොට ඇත්තේ ආධ්‍යාත්මික වශයෙන් උසස් තත්ත්වය හෝ උතුම් යන අදහසින් විශේෂණ පදයක් ලෙසින්ය. බුදුන් වහන්සේ කිහිප අවස්ථාවකම ස්වකීය ධර්මය තුල ආර්ය යන පදය භාවිත කර තිබන් මේ සදහා දැක්විය හැකි හොදම උදාහරණය වේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය - උතුම් වු අෂ්ඨ ධර්ම මාර්ගය, චාතුරාර්ය සත්‍ය උතුම් වු සතර ධර්මය, යනුවෙන් ආර්ය යන පදය උතුම් යන අර්ථයෙන් භාවිතා කර තිබෙනු පෙන්වා දිය හැකි වේ. මෙහිදි අපට පැහැදිලවම සෘග් වේදයත් ඇතුලත් පැරණි භාරතීය ඉගැනවීම්වලදි කිසිදු අවස්ථාවක ජාතිය හෝ වර්ගයක් හැගවීමේ අදහසින් ආර්ය යන පදය භාවිත කර තිබේ යැයි පැවසිය නොහැකි වේ.
            ඉරාන සහ ඉන්දීය භාෂා අතරත් යුරෝපීය භාෂා අතරත් ඇති සම්බන්ධතාව හෙලිවීමෙන් පසු ඇති වු සංකල්පයක් ලෙසට ආර්ය සංකල්පය දැක්විය හැකි වේ. මේ අනු වඉන්දියාව තුල ආර්ය සංකල්පය පිළිබදව ඇතිව තිබෙන්නා වු මතවාද පහක් පෙන්වාදිය හැකි වේ.
       
01 වාග් විද්‍යාව අනුව සංස්කෘත බස, නැගෙනහිර මධ්‍යධරණි භාෂාවන් සහ යුරෝපීය භාෂාවන්  පොදු
     ප්‍රභවයක් පෙන්නුම් කෙරේ.
    The linguistic thesis that Sanskrit shares a common origin with several Mediterranean, Near Eastern
       and European languages.

02 ආර්ය ආක්‍රමණ න්‍යායට අනුව වෛදික සංස්කෘතිය ඉන්දියාවට පිටතින් පැමිණි ආක්‍රමණිකයන්ගේ
      ප්‍රතිඵලයක් බවයි.
    The AIT, or Aryan invasion thesis that argues that Vedic culture in India is the result of an    
       invasion  of outsiders.

03 ආර්ය සංක්‍රමණ න්‍යායට අනුව සිදුවුයේ ආක්‍රමණයක් නොව සංක්‍රමණයකි.
      The AMT, or Aryan migration thesis that says there was no invasion, merely a migration.


04 ආර්යයන් ස්වදේශීන් යන න්‍යායට අනවු ඉන්දියාවට ආක්‍රමණයක් හෝ සංක්‍රමණයක් සිදුවුයේ
     නොමැත.
    The “indigenous Aryan” thesis that says the Aryans never invaded nor migrated into India, they
       were already there.

05 ඉන්දියාවෙන් පිටතට ව්‍යාප්ත වු බව කියන න්‍යායට අනුව ආර්ය සංස්කෘතිය ඉන්දියාවෙන් පිටතට
     ව්‍යාප්තියක් සිදු විය යන න්‍යාය.
   The OIT, or “out of India” thesis that says that Aryans are originally from India and spread out from
     there to the rest of the world.

                ඉන්දියාවේ ආර්ය සංකල්පය පිළිබද මෙවැනි අදහස් ඇති වුවත් බොහෝ ඉන්දීය ඉතිහාසඥයන්ගේ අදහස වන්නේ හරප්පා සභ්‍යත්වය බිද වැටීමෙන් අනතුරුව ඉන්දියාවට පැමිණි සංක්‍රමණික හෝ ආක්‍රමණික පිරිස මෙම ආර්ය යනුවෙන් හැදින්වෙන ජන පිරිසට අයත් කළ හැකි බවයි.වයඹදිග ඉන්දියානු කපොලු මාර්ගවන බෝලාන්,ඛයිබර් සහ මක්රාන් යන දුර්ග මාර්ගයන් ඔස්සේ ඉන්දු නිම්නයට සංක්‍රමණ හා ආක්‍රමණ යන දෙකම හෝ සිදු වන්නට ඇත. සෘග් වේදය මෙසේ පැමිණි පිරිසගේ පැරණිතම ආගමික ග්‍රන්ථය ලෙසට සළකණු ලබන්නේ ය. ක්‍රිස්තු වර්ෂයේ දෙවන සහස්‍රකයේ ආරම්භයත් සමග ඉන්දියාවට පැමිණි ජනයා එක් කණ්ඩායමක් නොවු අතර ඔවුන් එකිනෙකා අතර සමාන ලක්ෂණ සහ සම්බන්ධතා පැවැත්වු ග්‍රෝත්‍ර රාශියක් විය. මෙසේ පැමිණි පිරිස් වයඹදිග ඉන්දියාවට ඇතුලුවන විට හරප්පා නගරායනය පරිහානියට පත්වෙමින් පැවති අතර මෙම සංක්‍රමණ හා ආක්‍රමණ නිසා පරිහානිය තවදුරටත් ඉක්මන් වන්නට ඇත. වේද ග්‍රන්ථයන්හි ආර්ය පිරිස් තමන් ජයග්‍රහකයන් ලෙසට හදුවා ගන්නේ ඔවුන් ස්වදේශිකයන් පරාජයට පත් කොට භූමිය අත්පත් කරගත් නිසාවෙන් විය යුතු වේ. සෘග් වේදයේ සදහන් අන්දමට දස්‍යුන්ට (ස්වදේශකයන් හදුන්වා ඇති නාමය එහි අර්ථය දාසයා සේවකයා වේ) විරුද්ධව ගෙන යන සටන් ව්‍යාපාරය තුලදි තමන් ආර්ය (උසස් ජනයා) යන්වෙන් හදුනවාගත් පිරිස භූමිය අත් කර ගැනීමට මුල් කාලයේ අනවරත යුධ ව්‍යාපාරයක නිරත වු බව හොදින්ම පැහැදිලි කොට ගත හැකි ය.
            දෙවන ලෝක යුධ සමයේ ආර්ය යනු කවර අන්දමේ පිරිසක් ද යන ප්‍රශ්ණයට පිළිතුරු දුන් ජර්මානුවන් ආර්යන් යනු තමන්ගේ ශරීර ලක්ෂණයන්ට සමාන වු පිරිසක් බවත් ආර්යන් යනු පැහැදිලිවම ජර්මානුවන් බවත් ප්‍රකාශ කරන ලදි. එම තත්ත්වය නට්සි පාලක හිට්ලර්ගේ ක්‍රියා කලාපය තුලින් විද්‍යාමාන් වේ. එසේම බයිබලයේ සදහන් කතා පුවක් අනුව විලියම් ජෝන්ස් ප්‍රකාශ කර සිටිනුයේ ග්‍රික, ලතින්, ගොතික් සහ කෙල්ටික් භාෂාවන් සංස්කෘත භාෂාව සමග දක්වන සම්බන්ධතාව අනුව හෙලි වන්නේ නෝවා පිළිබද වු කතාන්දරය බවයි. නෝවාගේ පුතුන් මගින් මෙවැනි භාෂාත්මක සමාන කමක් ලෝකය පුරා ව්‍යාප්ත වන්නට ඇතැයි ඔහු තව දුරටත් අදහස් දක්වයි. නමුත් මෙම අදහස පිළිගත නොහැකි කල්පිතයක් බව පෙනී යන නමුත් එකම මූලයකින් භාෂා සමානතාවය ඇති වු බවට යම් අදහසක් ගත හැකි වේ.
            ඉන්දියාව දෙස බලන විට පෙනී යන්නේ ඉන්දු නිම්නයේ පැවති හරප්පා නාගරික ශිෂ්ඨාචාරය කෙතරම් දියුණු අවධියක පැවතියත් ඉන්දීය ඉතිහාසය කෙරහි වඩාත්ම බලපෑමක් ඇති කරනු ලැබුයේ වයඹ දිග කපොලු මාර්ග ඔස්සේ ඉන්දියාවට පැමිණි ආර්ය යනුවෙන් හැදින්වෙන සංක්‍රමණික හෝ ආක්‍රමණිකජන පිරිස බවයි. ඉන්දියාව පමණක් නොව ඉන්දියාවට වඩාත් දකුණින් වු ශ්‍රි ලංකාවද තම ඉතිහාසය හැඩ ගස්සවා ගැනීමේදි වැඩි බලපෑමක් සහිතව ආභාෂ ලබා තිබෙන්නේ උතුරු ඉන්දියානු සංස්කෘතියෙන් වීම ද වැදගත් කොට සැළකිය යුතු වේ. ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව ද වාග් විද්‍යාත්මක වර්ගකිරීම් අනුව ඉන්දු යුරෝපීය භාෂා කාණ්ඩයටම වැටෙන් හෙයින් ආර්ය සංකල්පයෙන් දිවයිනේ ඉතිහාසකරණය සිදුවීමත් නොවැළක්විය හැකි හේතුවක් වේ. ඉන්දියානුවන් පමණක් නොව මෙම අදහස් සළකා බලන ලද යුරෝපීය ජාතීන් ද තමන්ගේ මුතුන් මිත්තන් ඉන්දු යුරෝපීය මූල භාෂාව කතා කළ පොදු ජන කණ්ඩායමකින් ප්‍රභවය ලද පිරිසක් සේ සළකා තම නිජ භූමිය පිළීබදව විවිධ අදහස් ප්‍රකාශ කරන්නට පටන් ගන්නා ලදි. මේ අනුව බලන කල පැහැදිලි වන්නේ ආර්ය යන සංකල්ප වඩාත් පෝෂණය වීමට පටන් ගනු ලබන්නේ යුරෝපීය භාෂාත්මක ඥාති සම්බන්ධය හෙළිවීමත් සමගින් ය.
මුලාශ්‍ර
ආනන්ද ජයසේකර - තුලනාත්මක වාග්විද්‍යාව.
රෝමිලා තාපර් - ජාති බේද වාදය හා පුරාණ ඉන්දීය ඉතිහාසය ලිවීම.
 කේ.එන්.ඕ ධර්මදාස - භාෂාවේ සම්භවය හා සංස්කෘතික මුහුණුවර.
Gordon Child - The Aryans, a study of Indo-European origins.
A Drucker -  The Evolution Of The Aryans.

Randall J Groves - Professor of Humanities Ferris State University).  “The Aryan Hypothesis and Indian Identity: A Case Study in the Postmodern Pathology of National Identity”.

Romila Thapar - “The Aryan Recasting Construct”.


                හරප්පා නගරයේ දර්ශනයක් පුරාවිද්‍යා සංරක්ෂණයන්ගෙන් පසු



 පුරාණ ඉන්දියාවට ඇතුළුවීමට තිබු ඛයිබර් දුර්ගය වර්තමාන්යේ ඇෆ්ගනිස්ථානයට අයත් වේ